• Home
  • >>
  • නාවික හමුදා රැකවරණ මධ්‍යයේ ත්‍රිකුණාමලයට ජලය සපයන කලමැටියා කුලම් වැව
     

නාවික හමුදා රැකවරණ මධ්‍යයේ ත්‍රිකුණාමලයට ජලය සපයන කලමැටියා කුලම් වැව
 

ත්‍රිකුණාමල නගරයට මෙන්ම නගරයට ආසන්නයේ පිහිටි සුවිසල් නාවික කඳවුරක් වන නාවික තඨාකාංගනය වෙත වසර පුරාම ජලය සැපයෙන්නේ කලමැටියා කුලම වැව අශ්‍රයෙනි. තඹලගමු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටා තිබෙන වසර 70 කට වැඩි ඉතිහාසයක් ඇති මෙම වැවෙහි සම්පූර්ණ ආරක්ෂාව සිදු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. විශේෂයෙන්ම පසුගිය සමයේදී ඇති වූ ත්‍රස්ථවාදී ක්‍රියාවන් හමුවේ වසර 30කට වැඩි කාලයක් තිස්සේ අති දුෂ්කරතා මධ්‍යයේ එහි ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාව සමත් වී ඇත.අදවන තුරුත් එහි ආරක්ෂාව හා නඩත්තුව සඳහා නාවික හමුදාව ඇප කැප වී සිටියි.

1936 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මෙම වැව ඉදිකිරීම් ආරම්භ කොට ඇති අතර, එය නිම කොට ඇත්තේ 1942 දීය. ඉන්දියාවේ මුම්බායි පිහිටි ජෙටන්ස් සමාගම (Paters Company) විසින් ඉදි කිරීම් සිදු කොට ඇත.මෙහි පිහිටීම සලකා බලන කළ ත්‍රිකුණාමලය හබරණ මාර්ගයේ පාලම්පාටරු හන්දියේ සිට (ත්‍රිකුණාමලයට කි.මී 22 මෑතින්)සිට කි.මී 9ක් දුරින් ඝණ වනන්තරය ඇතුලත මෙය ඉදි කොට තිබේ. කලමැටියා කුලම් වැව දිගින් අඩි 2840ක් වන අතර උස අඩි 27කි. එය අක්කර 315ක් පුරා විසිරී තිබෙන අතර ධාරිතාවය ගැලුම් මිලියන 10345කි.

වල් අලින්ගෙන් බහුල ඝණ වනන්තරයක් මධ්‍යයේ පිහිටා ඇති මෙහි ආරක්ෂාව සඳහා නාවික අණුඛන්ඩයක් ස්ථාපිත කොට ඇත. ඒ ආශ්‍රිතව නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්ව ගොවි‍පලක්ද වේ. එය 1967 ජනවාරි මස 01 වන දින ආරම්භ කොට ඇති අතර එහි වපසරිය අක්කර 1054කි. 1975දී ශ්‍රී ලංකාවේ හොඳම ගොවිපල ලෙස  සම්මාන ලබා ඇත්තේද මෙකී ගොවිපලයි. මෙහි ආරක්ෂාව හා නඩත්තුව එදා සිට අද දක්වාම සිදු කෙරෙන්නේ නාවික හමුදාව විසිනි.

පසුගිය සමයේ දී ඇති වූ ත්‍රස්ථවාදී ක්‍රියාවන් හමුවේ මෙම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට වඩා වැඩි අවදානයක් වැවේ අරක්ෂාව කෙරෙහි යෙදවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට සිදු විය. එම නිසා වැඩි ප්‍රමුඛත්වයක් දී රාජකාරි කලේ වැවේ ආරක්ෂාව තහවුරු කිරීම උදේසාය. ත්‍රිකුණාමලය නගරවාසීන් මෙන්ම තඨාකාංගනයේ වෙසෙන සියලුම නාවික හමුදා සමාජිකයින්ගේ ජල අවශ්‍යතාවයන් 100% ක්ම සපුරාලනු ලැබුවේ මෙම වැව ඇසුරෙනි. එම නිසා වසර 30 කට වැඩි කාලයක් දැඩි පරිශ්‍රමයක් යොදා නාවික හමුදාව අද දක්වාම ආරක්ෂා කරමින් සිටින අතර පසුගිය සමයේ දී මෙහි රාජකාරි කළ කිහිපදෙනෙකුම ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ට ලක්ව ජීවිතය පවා රට වෙනුවෙන් පුජා කොට ඇත.

ඇළ මාර්ගය ඔස්සේ කී.මී 3.3 පමණ ගලා එන ජල කද තඹලගමු ප්‍රදේශයේ දී එක්රැස් වී මෙකී වැව පෝෂණය වේ. එතැන් සිට ස්භාවික බෑවුම් ඔස්සේ එම ජලය ආන්දම්කුලම් ජල පවිත්‍රාගාරය වෙත ගෙන එනු ලැබේ. එම දුර ප්‍රමාණය කි.මී 17.5 වන අතර, එයට යොදවා ඇති යකඩ නලයේ පරිධිය අගල් 42(විෂ්කම්භය අඟල් 14) පමණ වේ. අන්දම්කුලම් ජල පවිත්‍රාගාරය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය- හබරණ මාර්ගයේ 4 කණුව අසල පාරෙන් දකුණු පසට (කන්තලේ දෙසින් ත්‍රිකුණාමලයට ගමන් කරන විට) වන්නට ය. එම ස්ථානයේ ගැලුම් 5385560 වූ ටැංකි දෙකකට ජලය එක්රැස් වේ. එම ටැංකි වල දිග අඩි 120 වන අතර පළල අඩි 60 ක්ද උස අඩි 12 ක්ද වේ. එම ස්ථානයෙන් පිරිසිදු කරන ජලය නගරය වෙතත්, කි.මී. 7.5 ක් දුරින් පිහිටි නාවික තඨාකාංගනය වෙතත් බෙදා හරිනු ලබයි.