• Home
  • >>
  • නාවික තඨාකංගනය අලංකාර කරන පෝනි පැටව් දෙදෙනා
     

නාවික තඨාකංගනය අලංකාර කරන පෝනි පැටව් දෙදෙනා
 

ත්‍රිකුණාමලය ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි පිහිටා ඇති මනරම් ස්භාවික වරාය නිසාය. කොඩ්ඩියර් බොක්ක කේන්ද්‍රකොට පිහිටා ඇති මෙකී වරාය, විශාල කඳු වළල්ලකින්  වට වී ඇත. ශ්‍රීලංකා නාවික හමුදාව සතු පැරණිතම හා විශාල  නාවික කඳවුරු කිහිපයක්ද මෙයට යාබදව පිහිටා ඇත. නාවික තඨාකාංගණය ඉන් ප්‍රධාන තැනක් ගනී.

තඨාකාංගණය අවට පරිසරය ඉතාමත් දුර්ලභ ඝනයේ වෘෂලතා වලින් පිරී පවතින අතර, මුවන්, ගෝනුන් වැනි සතුන් ද නිදැල්ලේ සැරිසරන අයුරු කදිම දසුනකි. මෙහි සුන්දරත්වය තව තවත් තීව්‍ර කරන්නට සමත්ව ඇත්තේ මෙම භූමියට අළුතෙන් එක් වූ පෝනි පැටව් දෙදෙනාය.

කැලෑ අශ්වයින් ලෙසද හඳුන්වනු ලබන මෙම පෝනියන්ගේ මුල් බිම වූයේ උතුරේ පිහිටා ඇති ඩෙල්ෆ් දුපතයි. ශ්‍රී ලංකාවේ වැඩිම ඝණත්වයකින් යුත් පෝනින් ප්‍රමාණයක් සිටින ප්‍රදේශය වන්නේද මෙකී දූපතයි. ඩෙල්ෆ් දූපතේ සිටින පෝනියන් අතුරෙන් ජෝඩු තුනක් ත්‍රිකුණාමල නාවික කඳවුර වෙත ගෙන එන ලද්දේ 2014 දී එවකට නැගෙනහිර නාවික විධාන භාර ආඥාපතිව සිටි රියර් අද්මිරාල් (විශ්‍රාමික) රොහාන් අමරසිංහ මහතාගේ අදහසකට අනුවය. ඩෙල්ෆ් දූපතේ  සිට යාපනය දක්වා මුහුදින් ද එතැන් සිට ත්‍රිකුණාමලය දක්වා, ගොඩබිමින් ද ඔවුන් ප්‍රවාහනය කොට තිබේ. මේකාර්යය සඳහා අශ්වයින් පිළිබඳ විශේෂඥ දැනුමැති පොලිස් අධිකාරි වරයෙකුගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන තිබෙන අතර,  පශුවෛද්‍ය වරයෙකු ද සහාය ලබාදී ඇත. ඔවුන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් නිසි පරිදි අවසර ලබා ගනිමින්  ප්‍රවාහනය කරන ලදි.

ඩෙල්ෆ්  දුපතට වඩා හිත කර දේශගුණයක් පවතින තඨාකාංගණයේ මොවුන් ඉතාමත් පෘෂ්ඨීමත්ව වැඩෙමින් සිටින අයුරු දැක ගැනීමට පුළුවන.මොවුන් අතරට නව සාමාජිකයින් දෙදෙනෙක් එක් වූයේ පසුගිය ජූනි මස 06 වන දින හා අගෝස්තු මස  23 දාය. මොවුන් ත්‍රිකුණාමල තඨාකාංගණයේ පහස විදිමින් නාවික පරිශ්‍රය තුළ ඉතාමත් නිරෝගිමත්ව කල් ගත කරන බව පෙනේ. අළුතින් එකතු වූ සාමාජිකයින් දෙදෙනා ගැහැණු සතුන් වේ.