• Home
  • >>
  • ඉරණතිව් දූපතේ නාවික හමුදා ස්ථානගත කිරීම වැදගත්කම
     

ඉරණතිව් දූපතේ නාවික හමුදා ස්ථානගත කිරීම වැදගත්කම
 

කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉරණතිව් දූපත වර්ග කිලෝමීටර් 05 ක් පමණ වන කුඩා දූපතක් වශයෙන් සැලකිය හැකිය. තැන තැන විසිරුණු ලඳු කෑලෑවලින් ගහන මෙම භූමිය උතුරු සහ දකුණු වශයෙන් වන දුපත් දෙකක එකතුවකින් සැදී ඇත. ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ අධීක්ෂණය යටතේ පවතින මෙම දූපත මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පිහිටා තිබේ. අතීතයේ දී ජනාවාසව පැවති මෙම භූමිය, පසුගිය සමයේ පැවති යුධමය වාතාවරණය, නිසාත් පිරිසිදු පානීය ජල පහසුකම් නොමැතිකම හේතුවෙන් 1992 වසර පමණ වන විට ක්‍රමයෙන් ජන ශූන්‍ය ප්‍රදේශයක් බවට පත් විය. දූපත ආශ්‍රිතව ජීවත්වූ ජනතාව මේ වන විට නච්චිකුඩා සහ පුනකරී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉරණමාතා ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පදිංචි වී සිටිති.

ජනශූන්‍යව පැවති ඉරණමඩු දූපත LTTE මුහුදු කොටි ක්‍රියාකාරීන්ට සිය කටයුතු සඳහා මහඟු තෝතැන්නක් විය. එවක LTTE සැපයුම් මාර්ගයන් ඉන්දියාවේ දකුණු වෙරළ තීරයේ සිට නච්චිකුඩා සහ වෙඩිතලතිව් ප්‍රදේශයන් හරහා වැටී තිබූ අතර එහි උපායමාර්ගික වශයෙන් වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් ඉරණතිව් දූපත සලකනු ලැබීය. LTTE මුහුදු කොටි සාමාජිකයින් දූපත ආශ්‍රිතව කුඩා කඳවුරු ඉදිකර තිබූ අතර මේවා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුවිශේෂී බලඝණයන් වශයෙන් සැලකෙන විශේෂ යාත්‍රා බලඝණය සහ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයන් විසින් විනාශ කර දමන ලදි. නොගැඹුරු මුහුදු තීරයක පිහිටා තිබීම හේතුවෙන් දූපත ආසන්නයට ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක යාත්‍රාවන්ට ළඟා වීමට අපහසු කරුණක් විය. එමගින්ද LTTE ත්‍රස්තවාදීන් උපරිම වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කර තිබිණි. ඉන්දියානු ධීවර යාත්‍රා අතරට එක්වෙමින් විවිධ ජාවාරම් කටයුතු වල නිරත LTTE ය, ඉන්දීය ධීවර යාත්‍රා මුවාවෙන් මෙම දූපත ආසන්නයට ළඟා වී අනවසර භාණ්ඩ ගොඩබෑම ද සිදු කරන ලදි. කෙසේ නමුත් විශේෂ යාත්‍රා බලඝණය සහ වේග ප්‍රහාරක යාත්‍රා බලඝණය විසින් විශේෂයෙන් සකස් කරන ලද ප්‍රහාරක යාත්‍රා යොදා ගනිමින් LTTE සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලැබූ අවි ආයුධ ගොඩබෑම සහ රැස් කිරීමේ ක්‍රියාකාරකම් ව්‍යර්ථ කිරීමට සමත් විය.

මෙම දූපතෙහි ඇති උපායමාර්ගික වැදගත්කම හේතුවෙන් අද වන විට එහි රේඩාර් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. මෙම දූපතෙහි නාවික හමුදාව ක්‍රියාත්මක වීම තුළින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට අනවසර ධීවර කටයුතු සඳහා පැමිණෙන ඉන්දීය ධීවරයින්ට සහ ඉන්දියාවේ සිට පැමිණෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්‍ට දැඩි බලපෑමක් එල්ල වී ඇත. මෙහි ස්ථාපනය කර ඇති රේඩාර් යන්ත්‍රය මගින් ඉන්දියානු මෙන්ම අනෙකුත් ධීවර යාත්‍රාවන්ද නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත. මේ හේතුවෙන් අනවසරයෙන් ශ්‍රී ලංකීය මුහුදු තීරයට ඇතුළු වන යාත්‍රාවන් හඳුනා ගැනීමටත් අනතුරට පත් ධීවරයන් සහ ධීවර යාත්‍රාවන් මුදවා ගැනීමටත් නාවික හමුදාවට හැකියාව පවතී.

අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරත වන ඉන්දීය ධීවර ක්‍රියාකාරකම් හේතුවෙන් සාගරික සම්පත් වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර එම සම්පත් අධික උපයෝජනයකට ලක්ව තිබේ. දශක තුනක කුරිරු යුද්ධයෙන් බැට කා නැවත තම ජීවිත ගොඩනඟා ගනිමින් සිටින දිවයිනෙහි උතුරු ප්‍රදේශයේ දිවි ගෙවන, ශ්‍රී ලංකීය දෙමළ ධීවර ප්‍රජාව උක්ත කරුණ හේතුවෙන් දැඩි අසරණ තත්වයකට ලක්ව සිටී.

සාගරික සම්පත් සුරක්ෂිත කිරීම පිණිස පනවා ඇති ජාතික සහ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ කිසිදු තැකීමක් නොකර ඉන්දීය ධීවරයින් විසින් සිදු කරනු ලබන විනාශකාරී ධීවර කටයුතු(පතුළ මත අඳගෙන යාම Bottom Trawling ) හේතුවෙන් ශ්‍රී ලාංකීය දෙමළ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට මරු පහරක්  මෙන්ම මත්ස්‍ය අසවැන්න සීඝ්‍රයෙන් පහත වැටීමටද හේතුවක් වී ඇත. එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉරණතිව් දූපත ආශ්‍රීත මුහුදු තීරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසු‍ වේ. මේ අනුව අනවසර ඉන්දීය ධීවර යාත්‍රා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් ඉන්දියානු ධීවරයින් බවට අඟවමින් සිදු කරනු ලබන වෙනත් ජාවාරම් සහ අපරාධ විශාල වශයෙන් සීමා විමටද හේතුවක් වි ඇත.

ජාතික සහ ආගමික සහජීවනය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරන නාවික හමුදාව එයට කදිම සාක්ෂියක් වෙමින් ඉරණතිව් දූපතෙහි පිහිටි “ජපමාලයේ අප ස්වාමි දුවගේ” දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීම සඳහා සිය උපරිම සහයෝගය ලබා දේ. වසරේ මුල් දින 40 ට පසුව උදාවන පලමු සිකුරාද දිනයේ පවත්වනු ලබන මෙම මංගල්‍යය සඳහා කිතුණු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වෙති. පව් සමාකර ගැනීමේ යාඥාවෙන් අනතුරුව දුපතේ පිහිටි දේවස්ථානය දක්වා බැතිමතුන්ගේ කරමතින් කුරුසය රැගෙන යමින් මෙම මංගල්‍යය ආරම්භ වේ. වසරක් පසා පැවැත්වෙන මෙම ආගමික කටයුත්ත සඳහා සහභාගිවන බැතිමතුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීම සිදු කරනු ලබන්නේ ඉරණතිව් දුපතට නාවික සැතපුම් 06 ක් පමණ ඔබ්බෙන් පිහිටා ඇති ශ්‍රී ලංනානෞ බුවනෙක ආයතනය මගිනි. ඒ අනුව බැතිමතුන් සඳහා පානීය ජලය ලබා දිම, වෛද්‍ය පහසුකම් සැලසීම සහවිදුලි බල පහසුකම් සැලසීම එම කාර්යයන් අතර ප්‍රමුඛ වේ. තවද, දූපත වෙත පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා සියජීවිතාරක්ෂක කණ්ඩායම් සහ යාත්‍රා යෙදවීමද නාවික හමුදාව කටයුතු සංවිධානය කොට ඇත.

මේ අනුව ගත්කළ ශ්‍රී ලංකා නවික හමුදාව ඉරණතිව් දූපතෙහි ක්‍රියාත්මකවීම ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ ආරක්ෂාවට මෙන්ම ශ්‍රී ලාංකීක ධීවරයින්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමටද ඉවහල් වන බව ප්‍රත්‍යක්ෂ වේ.