මුලික පුහුණුව නිම කල ඉඳුරාම බඳවාගත් නිලධාරිණියන් තිදෙනෙක් සහ සේවා ප්‍රවේශ නිලධාරින් හයදෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

2017 වර්ෂයේ දෙවන ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් දන්ත වෛද්‍ය අංශයට අයත් නිලධාරිණියන් තිදෙනෙකු (03) සහ 2017 පලමු සේවා ප්‍රවේශ බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් හයදෙනෙකු (06) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර අද (මැයි 11) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බටහිර ප්‍රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා සහභාගී විය. එම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා ඇතුළු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගිවී සිටියහ.

ගෞරව සම්මාන උත්තමාචාරය පිළිගැනීමේන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අංශ පිරික්සීම සිදු කල අතර, ඉන් අනතුරුව එතුමන් විසින් එක් එක් අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ නිලධාරීන් හට කුසලාන ප්‍රදානය කිරීම සිදු කෙරිණි. එහිදී, ඉඳුරාම බඳවා ගැනීමේ දක්ෂතම නිලධාරිණිය හට හිමි කුසලානය මධ්‍ය නිලධාරි සමාධි රන්දිම හිමි කර ගත් අතර, ස්වයං මෝටර් ශිල්පී I එල්සී මනම්පේරි සේවා ප්‍රවේශ බඳවා ගැනීමේ දක්ෂතම නිලධාරියා වීය.

එමෙන්ම, බටහිර ප්‍රදේශභාර ආඥාපතිතුමා විසින්, විසිර යන නවක නිලධාරීන් සහ ඔවුන්ගේ දෙමාපියන් අමතමින්, අධිකාරියටපත් මෙම නිලධාරින් විනයගරුකව හා අවංකව තම රාජකාරි ඉටු කිරීම අපේක්‍ෂා කරන බවත්, රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරිභාවය ආරක්‍ෂා කර ගනිමින්, නාවික හමුදාවේ සහ තම නිපුණතාවයන් පෙරට වඩා වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරනු අතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කර සිටින ලදී. තවද, මාතෘභූමියට මෙන්ම නාවික හමුදාවට තම සේවය ඉටු කිරීම තුලින් නාවික හමුදාවේ අනාගතය රඳා පවතින බව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදී.