නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි 17 වන දින ත්‍රිකුණාමලය, ෆවුල්තුඩුව මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර ආරක්‍ෂක මුර සංචාර සිදු කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුලි 17 වන දින ත්‍රිකුණාමලය, ෆවුල්තුඩුව මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී තහනම් දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 47 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා අටක් (08), තහනම් දැල් අටක් (08) , අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 557 ක් සහ එම ධීවර යාත්‍රාවන් තුල තිබූ තවත් ධීවර ආම්පන්න කිහිපයක්ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 56 ත් අතර වයස් වල පසුවන කින්නියා ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, තහනම් දැල්, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදි.