නාවික හමුදා සොදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නීතියේ රැහැනට.

තහනම් මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටින නාවික හමුදාව 2020 ජූලි මස 24 වන දින උතුරු මැද නාවික විධානයේ සහ නැගෙනහිර නාවික විධානයේ සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 09කට අධික ප්‍රමාණයක් ඇතුළු තවත් නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.

ඒ අනුව, උතුරු මැද නාවික විධනයට අනුයුක්තව මන්නාරම, උසිමුක්කන්තුරෙයි ප්‍රදේශයේ වෙරළ ආරක්‍ෂක මුර කුටියක රාජකාරි නියුතු නාවික පුද්ගලයින් පිරිසක් විසින් මුහුදෙහි ජාකොටුවක් ආසන්නයේ තිබූ සැක සහිත පාර්සල් දෙකක් (02) නිරීක්‍ෂණය කර ඇති අතර, පසුව ආදාල පාර්සල් පරීක්‍ෂා කිරීමේදී එම පාර්සල් තුල තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 9 ග්‍රෑම් 300ක (තෙත බර) ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්විය. පසුව අදාල කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

එම විධානයේම නාවික පුද්ගලයින් පිරිසක් විසින් මැදවච්චිය පොලිසිය හා එක්ව මැදවච්චිය බස්නැවතුමේ සිදු කල තවත් සෝදිසි මෙහෙයුමකදී ‍බස් රථයක රැගෙන යමින් තිබූ කේරළ ගංජා ගෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය. එම සැකකරුවන් වයස අවුරුදු 25 සහ 30 යන වයස් වල පසුවන මඩකළපුව ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන් සහ කේරළ ගංජා සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු මැදවච්චිය පොලීසිය මගින් සිදු කරනු ලබයි.

තවද, මන්නාරම දිසා දූෂණ මර්ධන ඒකකය හා එක්ව මන්නාරම එළුතුරේ ප්‍රදේශයේ සිදු කල තවත් සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 560ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. අදාල සැකකරු වයස අවුරුදු 21ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, අදාල මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු මන්නාරම දිසා දූෂණ මර්ධන ඒකකය මගින් සිදු කරනු ලබයි.

නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් සහ කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව 2020 ජූලි මස 24 වන දින මඩකලපුව , කාත්තන්කුඩිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මාර්ගයේ ගමන්ගත් සැක සහිත යතුරු පැදියක් පරීක්‍ෂාවට ලක් කර එම යතුරුපැදිකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 670ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. වයස අවුරුදු 43ක් වන මෙම සැකකරු එම ප්‍රදේශයේම පදිංචි කරුවකු බවත් මෙම මත්ද්‍රව්‍ය විකිණීම සඳහා මෙලෙස රැගෙන යමින් සිට ඇති බවටත්, කරුණු අණාවරණය කරගන්නා ලද අතර, අදාල සැකකරු, අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.