මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (2020 අගෝස්තු 03) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

2020 ජුලි 29 වන දින ගාල්ල, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘යසිරු පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හෘදයාබාධයක් හේතුවෙන් රෝගී වී සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සමුද්‍රිය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, ගාල්ලට නාවික සැතපුම් 50 ක පමණ (කිලෝමීටර් 92 ක් පමණ) ගිණිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී රෝගියා කොවිඩ් -19 වසංගත තත්වය පිටුදැකීම සඳහා ලබා දී ඇති සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නාවික හමුදා යාත්‍රාව වෙත රැගෙන මුලික ප්‍රථමාධාර ලබා දෙමින් ගාලු වරාය වෙත රැගෙනවිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කරන ලදී. මෙම රෝගියා වයස අවුරුදු 57 ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුළ මෙහෙයුම් සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදා‍වට පැවරී ඇති අතර, මීට පෙරද නාවික හමුදාව මෙම කළාපය තුළ ආපදාවට පත් වූ ධීවර හා නාවික ප්‍රජාව වෙත අවස්ථා ගණනාවකදී සහය වී ඇත. තවද අන්තර්ජාතික සම්මුතීන්ට අනුව මුහුදේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳ වගකීම ඉටු කිරීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.