නාවික හමුදා අඛණ්ඩ මෙහෙයුම් මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ ජාවාරම් කරුවන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට දායක වෙමින් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. එලෙස නාවික හමුදාව විසින් 2020 ජුලි 30 හා අගෝස්තු 03 අතර සිදු කළ මෙහෙයුම් මගින් සැකකරුවන් දෙදෙනෙක් තහනම් මත් ද්‍රව්‍ය සහ භාණ්ඩ සමග නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලදි.

උතුරු මැද නාවික විධානය මගින් පේසාලේ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය සමග සිදු කළ මෙහෙයුමකදී හෙරෝයින් මිලිග්‍රෑම් 550 ක ප්‍රමාණයක් අලෙවි කිරීමට තැත්කළ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, තලෙයිමන්නාරම පරණ ජැටිය අසල වෙරළ තීරයේ නීති විරෝධී ලෙස ගොඩබිමට ගෙන ඒමට තැත් කළ බීඩිකොල කිලෝග්‍රෑම් 690 කට ආසන්න ප්‍රමාණයක් ද නාවික භාරයට ගන්නා ලදි.

දකුණු නාවික විධානය විසින් තනමල්විල පොලිස් දූෂණ මර්ධන ඒකකය හා එක්ව තණමල්විල කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී දේශීය ගංජා ග්‍රෑම් 900ක් සමග සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකරගන්නා ලද අතර, බටහිර නාවික විධානය විසින් පොලිස් විශේෂකාර්ය බලකාය සමග අත්තනගලු ඔයේ සිදු කළ තවත් මෙහෙයුමකදී බැරල් 24 ක තිබූ ගෝඩා ලීටර් 720 ක් අත්අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස නාවික භාරයට ගන්නා ලද සැකකරුවන් සහ භාණ්ඩ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පේසාලේ පොලීසිය, යාපනය රේගු කාර්යාලය, තණමල්විල පොලීසිය සහ ගෝනහේන විශේෂකාර්ය බලකාය වෙත භාර දීමට කටයුතු කරන ලදි.