මුහුදේ ආපදාවට පත් ධීවරයින් වෙත නාවික හමුදාව සහන සලසයි

ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවාගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා වගකීමෙන් බැඳී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දින කිහිපය තුළදී ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් සිදු කරන ලද ආපදා සහන ඉල්ලීම් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් සාර්ථක මුදවාගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදී.

ඒ අනුව කිරින්ද සිට නාවික සැතපුම් 61 (කිලෝමීටර 113ක් පමණ) ගිණිකොන දෙසින් වූ මුහුදේ දී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් ව තිබූ ජයරුවන් I නමැති බහුදින ධීවර යාත්‍රාව එහි සිටි ධීවරයින් හයදෙනකු සමගින් ගොඩ බිමට ඇද ගෙන ඒම සඳහා ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් යෙදවූ නාවික හමුදාව, පැවති ඉතා රළු මුහුදු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් දරමින් ආපදාවට පත් වූ එම ධීවර යාත්‍රාව ගොඩ බිමට ඇද ගෙන ඒමට 2020 අගෝස්තු 05 දින කටයුතු කරන ලදී.

තවද, මුලතිව් සිට නාවික සැතපුම් 18ක් (කිලෝමීටර් 33 ක් පමණ) උතුරු දෙසින් වූ මුහුදේ දී ද කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් ව තිබූ ජනක IV නම් ධීවර යාත්‍රාව එහි සිටි ධීවරයින් හයදෙනෙකුද (06) සමඟින් ගොඩබිමට ඇද ගෙන ඒම සඳහා 2020 අගොස්තු 04 වන දින නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් යෙදවීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, පසුගිය අගෝස්තු 02 වන දිනද ගාල්ලට නාවික සැතපුම් 50ක් (කිලෝමීටර 92 පමණ) ගිණිකොන දෙසින් වූ මුහුදේ දී යසිරු පුතා නැමති බහුදින ධීවර යාත්‍රාවේ රෝගී වූ ධීවරයකු ගාල්ල වරාය වෙත රැගෙන ඒමට පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ වුවද එම මුහුදු ප්‍රදේශයට නාවික යාත්‍රාවක් යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, අවශ්‍ය වෛද්‍ය සහාය ලබා දෙමින් ගොඩබිමට රැගෙන ආ රෝගියා කරාපිටිය රෝහල වෙත යොමු කරන ලදි.

තවද, අන්තර්ජාතික සම්මුතීන්ට අනුව මුහුදේ ජීවිත ආරක්ෂාව පිළිබඳ වගකීම නොපිරිහෙලා ඉටු කරමින් ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන ධීවර සහ නාවික ප්‍රජාව වෙත අවශ්‍ය සහාය ලබාදීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.