නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ තොගයක් සමග සැකකරුවන් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10 ක් පමණ (කිලෝමීටර් 18 ක් පමණ) දුර මුහුදේ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ තොගයක් සමඟ සැකකරුවන් 04 ක් සහ ට්‍රෝලර් යාත්‍රාව 2020 අගෝස්තු 11 දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.

කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් මුහුදේ සිට පූර්ණ පරීක්‍ෂාවක් සිදු කිරීමට අපහසු බැවින්, නාවික හමුදා භාරයට ගන්නා ලද කහ තොගය සහිත ට්‍රෝලර් යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි. නීති විරෝධි ලෙස රැගෙන ආ කහ තොගයේ බර තෙත බර සහිතව කිලෝග්‍රෑම් 6381 ක් පමණ වූ අතර, කොවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් ලබා දී ඇති සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව විෂබීජහරණය කරන ලද කහ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදි.

තවද, අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සිටි සැකකරුවන් සිව් දෙනා ඉන්දියානු ජාවාරම්කරුවන් සමග මුහුදේදී ස‌බඳතා පැවැත් වූ බවට විශ්වාස කරන හෙයින්, එම සැකකරුවන් සිව් දෙනා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඇතුළුව නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

නාවික හමුදා බාරයට ගත් යාත්‍රාවේ සිටි සැකකරුවන් මගින් අනාවරණය වූ තොරතුරු මත, මෙම ජාවාරමට සම්බන්ධ ගැනුම්කරුවන් ලෙස සැක කෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ හලාවත පොලීසිය එක්ව හලාවත නගරයේදී කුඩා වෑන් රථයක් සහ මුදලින් රුපියල් 2,242,500.00 සමගින් අත්අඩංගුවට ගන්නා ලදි. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අවුරුදු 27 ත් 66 ත් අතර වයසේ පසුවන වත්තල, කටුගස්තොට, මහනුවර, බේරුවල සහ තොඩුවාව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට තහවුරු කරගන්නා ලද අතර, එම පිරිස අතර අත්අඩංගුවට ගත් යාත්‍රාවේ හිමිකරුද සිටී. මෙලෙස අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් හා භාණ්ඩ පිලිබඳ වැඩිදුර විමර්ශන සඳහා හලාවත පොලිසිය වෙත භාර දෙන ලදි.

නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ තීරයේ හා සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සිදු කරනු ලබන ආරක්‍ෂක ක්‍රියාකාරකම් හේතුවෙන් නීති විරෝධි කටයුතු සිදු කළ තවත් ජාවාරම්කරුවන් පිරිසක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට හැකි වූ අතර, මුහුදු මාර්ග ඔස්සේ සිදු වන ජාවාරම් මැඩපවත්වා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.