නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 03 ක් (කිලෝමිටර් 05 ක් පමණ) දුර මුහුදේ බලපත්‍ර නොමැතිව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) 2020 අගෝස්තු 13 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ නීති විරෝධී ධීවර කර්මාන්තය වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානය විසින් පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ එවැනි මෙහෙයුමකදී බලපත්‍ර රහිතව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 4010 ක් සහිත ඩිංගි යාත්‍රාවක්, සැකකරුවන් තිදෙනෙක් සහ ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 19, 21 සහ 23 යන වයස් වල පසුවන බව තහවුරු කරගත් අතර, එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.