නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ තොගයක් මන්නාරම සහ නොරෝච්චෝලේ වෙරළ තීරයන්හීදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන වෙරළ තීරයන්හීදී 2020 අගෝස්තු 18 වන දින නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

මුහුදු මාර්ගයෙන් අනවසර පුද්ගලයින් මෙරටට සංක්‍රමණය වීම සහ නීති විරෝධී බඩු බාහිරාදිය මෙරටට ගෙන ඒම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ අවධානය යොමු කර දිවයින වටා මුහුදු තීරයන්හි මුර සංචාර සිදු කරනු ලබයි. එලෙස වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් නොරොච්චෝලේ දලුව වෙරළ තීරයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රා දෙකක් (02) තුල සඟවා මෙරටට ගෙන ඒමට උත්සාහ කල ගෝනි මළු 14ක් තුල අසුරන ලද වියලි කහ කිලෝ 700කට ආසන්න ප්‍රමාණයක් සමඟ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 58ත් අතර වයසේ පසුවන සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට හැකි වූ අතර, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදීද වෙරළට ගොඩගසා තිබූ සැක සහිත ගෝනි මලු දෙකක් පරීක්‍ෂා කිරීමේදි එහි තිබී තෙත බර සහිත කහ කැබලි කිලෝග්‍රෑම් 107 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදි.

ඒ අනුව, නාවික හමුදාව විසින් පසුගිය සති තුනක (03) කාලය තුල අවස්ථා කිහිපයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 8245 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, මෙලෙස නොරොච්චෝලේ දලුව සහ මන්නාරම වංකාලේ යන ප්‍රදේශයන්හීදී නාවික හමුදා භාරයට ගන්නා ලද වියලි කහ, ඩිංගි යාත්‍රාවන් සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු සහ යාපනය රේගු කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කරන ලදි. තවද පවතින කොවිඩ් 19 අවධානම් තත්වය හමුවේ මෙම සියළු මෙහෙයුම් සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.