එරක්කණ්ඩි මුහුදේ පාවෙමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය එරක්කණ්ඩි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා භාවිතා කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් පසුගිය දින නාවික භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික ජෛව විවිධත්වයට පමණක් නොව පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයින් හටද හානි ගෙන දෙන බැවින් මෙවැනි නීති විරෝධී කටයුතු මර්ධනය කිරීම සඳහා නාවික හමුදාව අවදානයෙන් යුතුව මෙහෙයුම් සිදු කරනු ලබයි.ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පුද්ගලයන් විසින් ත්‍රිකුණාමලය එරක්කන්ඩි සහ පරවි දූපත අසල සිදුකල මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නිරික්ෂණය කර එම පුපුරණ ද්‍රව‍්‍ය නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි. නාවික හමුදා බාරයට ගත් වෝටර් ජෙල් කූරු 16 ක්, විදුලි නොවන ඩෙටනේටර් 08ක් සහ දිග අගල් 4, 8 හා 10 බැගින් වූ සේෆ්ටි ෆියුස් කොටස් 07ක් සහ අඩි 05ක් දිගැති එක් සේෆ්ටි ෆියුස් කොටසක් නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් ආරක්‍ෂාකාරී ලෙස නිශ්ක්‍රීය කිරීමට කටයුතු කෙරිණි.

තවද, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර ධීවර කර්මාන්තයේ යෙදීම හේතුවෙන් ධීවරයන්ට හා සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් සිදු කරනු ලබයි.