මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 05 කට අධික රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක‍ දෙපාර්තමේන්තුව එක්ව 2020 අගෝස්තු 28 වන දින උතුරු මුහුදේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ 05 ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාවේ උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක‍ දෙපාර්තමේන්තුව හා එක්ව උතුරු මුහුදේ කරෙයිනගර් දූපතේ කෝවිලන් ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 14.5ක් දූර මුහුදු ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදු කරන ලද අතර, එහිදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එහි තිබී ශ්‍රී ලංකාවේ සිට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 04ක ආරක්‍ෂිතව අසුරන ලද රත්‍රං කිලෝ 05 ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නාවික හමුදා භාරයට ගන්නා ලද වයස අවුරුදු 30 සහ 32 යන වයස්වල පසුවන අදාල සැකකරුවන් සහ රත්‍රං ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.