නීති විරෝධී ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 29 දෙනෙකු සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී, පසුගිය සතිය තුල උතුරු නාවික විධානය මගින් වෙත්තලකේණි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේත් නැගෙනහිර නාවික විධානය මගින් , නෝර්වේ තුඩුව, සල්පෙයාරු, නයාරු සහ කළු තුඩුව යන මුහුදු ප්‍රදේශයන්හිදීත් මඩකළපුව කළපුව සහ තුඩුව ප්‍රදේශයේත් සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් සහ උතුරු මැද නාවික විධානය මගින් නොච්චිමුණේ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදු කිරීම, තහනම් දැල් භාවිතය හා ලඟතබා ගැනීම, විදුලි ආලෝක ධාරාවන් භාවිතා කර ධීවර කර්මාන්තයේ යෙදීම යන හේතූන් මත පුද්ගලයින් 29 දෙනෙක්, ධීවර යාත්‍රා 11ක් සහ තවත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

එමෙන්ම, මන්නාරම නරිවිලකුලම් ප්‍රදේශයේ සිදු කල විශේෂ සොදිසි මෙහෙයුමකදී නරිවිලකුලම් පොදු සුසාන භූමිය අසල තිබී වට ප්‍රමාණය මිලි මීටර 70ට වඩා අඩු හක් බෙල්ලන් 600ක පමණ ප්‍රමාණයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් මෙම පුද්ගලයින් සහ ධීවර උපකරණ ඇතුළු භාණ්ඩ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, ත්‍රිකුණාමලය, මුලතිවු, මන්නාරම, කිළිනොච්චිය සහ මඩකළපුව ධීවර අධ්‍යක්‍ෂක වරුන් වෙත භාරදීමට කටයුතු කරන ලදි.