මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 05 වන දින 0600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

මෙම නෞකාව ඊයේ දින (2020 සැප්තැම්බර් 04) 1800 පැය වන විට ගොඩබිමට නාවික සැතපුම් 20ක් පමණ දුරකට ළඟාවී තිබුනද ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවයන්ගෙ අඛණ්ඩ ප්‍රයත්නය හමුවේ එම ගින්න පාලනයකට නතුකර ගැනීමට සමත්වීම මත ALP Winger නම් ටග් යාත්‍රාව මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවන ලදි.

එම ස්ථානයේ සිට අද දින පුරා නෞකාවේ ගිනි මර්ධන කටයුතු සිදු කරමින් පවතී. ගැඹුරු මුහුදේ සුළඟ වැඩිවීම හේතුවෙන් වරින්වර ගිනි පොකුරු ඇති වීමේ අවදානමක් ඇති අතර, එය පාලනය කිරීමට එම ස්ථානයේ ඇති ටග් යාත්‍රා සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක නෞකා කටයුතු කරමින් පවතී. තවද ඒ සඳහා හෙලිකොප්ටර් යානා ද යොදනු ලැබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රා තුනක් (03), ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් (02), ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා තුනක් (03), ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ (Hambanthota International Port Group) රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා දිවිත්වය (02) ආපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවූ ALP Winger නම් ටග් යාත්‍රාව (01) සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ටීටීටී 1 (TTT One) නමැති ටග් යාත්‍රාව (01) මෙම ගිනි නිවීමේ මෙහෙයුමෙහි නිරත වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ බීච් ක්‍රාෆ්ට් යානයක් ද මෙම ආපදා සහන සැළසීමේ මෙහෙයුමට දායක වී ඇත.

මීට අමතරව ඉන්දියානු වෙරල ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් ගුවන් යානා දෙකක් (02) හදිසි අවස්ථාවකදී යොදා ගැනීම සඳහා මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථානගත කර ඇත.

නෞකාව ආපදාවෙන් මුදවා ගැනීමේ කටයුතු සඳහා ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති විදේශීය පෞද්ගලික ආයතනයක් පත් කිරීමට නෞකාවේ හිමිකරු විසින් කටයුතු කර ඇත. එම ආයතනය ශ්‍රී ලංකා හා ඉන්දීය බලධාරීන් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් පවතී.