නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 815 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 815 කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2020 සැප්තැම්බර් 06) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව සිදු කල මෙම විශේෂ මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරන ලද ගෝනි මලු 30 ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 815 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය. එහිදී අදාල සැකකරුවන් සමඟ කුඩා ලොරි රථයක්ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 31 ත් අතර වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන්, වියලි කහ තොගය සහ කුඩා ලොරි රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කොවිඩ් 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කල්පිටිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.