මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1230 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පාලනය කිරීමෙන් පසු, එම නෞකාවේ නැවත ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් නෞකාව තුල උෂ්ණත්වය හා ඔක්සිජන් සැපයුම අඩාල කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටී.

මේ වන විට ආපදාවට පත් නෞකාවේ වාණිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් දිවයිනට යොමුකරන ලද මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් 06 දෙනෙකු සහ ආපදා කළමණාකරණ විශේෂඥයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට ගොස් ආපදා කළමණාකරන මෙහෙයුම් හා එක්ව සිටී. ඒ අනුව මේ වන විට එම විශේෂඥ කණ්ඩායම් වල සහභාගීත්වයද ඇතිව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 30කට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ MT New Diamond නෞකාව රඳවා ගනිමින් මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක්, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවන් 09ක් සහ අනෙකුත් පාර්ශවකරුවන් විසින් මෙම මෙහෙයුමට එක් කරන ලද ටග් යාත්‍රා 05ක් මේ වන විටද ආපදා කළමණාකරන මෙහෙයුමේ සක්‍රීයව නිරතව සිටී.

ඒ අනුව, නෞකාවේ නැවත ගිනි ගැනීමක් හට ගැනීමට ඇති අවධානම පහව යන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු පාර්ශවකරුවන් විසින් නිරන්තර අවධානයෙන් මෙම ‍ආපදා කළමණාකරන මෙහෙයුමේ නිරතව සිටී.