මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1800 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය නාවික හමුදාව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා තවදුරටත් ආපදා කළමණාකරන මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටී. ඒ අනුව එම ගින්නේ තත්වය යම් මට්ටමකට පාලනය කිරීමට මේ වන විට හැකි වී ඇත.

ආපදාවට පත් නෞකාවේ වාණිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් දිවයිනට යොමුකරන ලද මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් 06 දෙනෙකු සහ ආපදා කළමණාකරණ විශේෂඥයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ද ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට ගොස් ආපදා කළමණාකරන මෙහෙයුම් හා එක්ව සිටින අතර, ඔවුන්ගේද උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ ආපදා කළමණාකරන කණ්ඩායම් මෙම වර්ධනය වූ ගින්න නැවතත් මැඩපැවැත්වීමේ ප්‍රයත්නයේ නිරතව සිටී.

එමෙන්ම, අද දිනද ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ මෙම ආපදා කළමණාකරන මෙහෙයුමේ පාර්ශවකරුවන්ට අයත් නෞකාවන් 09ක්, ටග් යාත්‍රාවන් 05ක් හා ගුවන් යානාවන් සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 ක් පමණ වූ ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක වන මෙම ආපදා කළමණාකරන මෙහෙයුමට සක්‍රීයව දායක වේ. එසේම ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දේපාර්තමේන්තුවට අයත් නෞකාවන් 02 ක් හා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 03ක් සැපයුම් යාත්‍රා ලෙස මෙම මෙහෙයුමේ නිරත වේ. තවද, අද දිනයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දේපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් වර්ගයේ ගුවන් යානයක් දහන අපෝෂක රසායනික ද්‍රව්‍යක් වන Dry Chemical Powder (DCP) තොගයක් සමඟ ඉන්දීයාවේ චෙන්නායි සිට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණීමට නියමිතය.

මේ වන විට ආපදාවට පත් නෞකාවේ වර්ධනය වූ ගින්න එහි ඇති තෙල් සංචිත වෙත පැතිරයාමට හෝ නෞකාවෙන් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් පැන නැගී නොමැත. නමුත් පසුගිය 03 වන දින සිදු වූ මෙම ආපදාව හේතුවෙන් සාගර පරිසරයට කිසියම් හානියක් සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා අද දින ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හා රුහුණු විශ්ව විද්‍යාලයට අයත් පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් නාවික හමුදා යාත්‍රාවන් මගින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගොස් ජල නියැදි පරීක්‍ෂා කිරීමට නියමිතය.

ඒ අනුව, නෞකාවේ ඇති වූ ගිනි ගැනීම සම්පූර්ණයෙන් පාලනය කරනතෙක් විශේෂඥ කණ්ඩායම්හි හා අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහයෝගයද මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් මෙම ආපදා කළමණාකරණ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.