නාවික හමුදා විශේෂ මෙහෙයුම් මගින් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් පසුගිය දිනයන්හි සිදු කල විශේෂ මෙහෙයුම් මගින් මුලතිවු උදයාර්කට්ටු ප්‍රදේශයේ සහ මහවැලි ග‍ඟෙහි කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ වැලි කැණීම් සිදු කරනු ලබන ස්ථානයක තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට සමත්විය.

නැගෙනහිර නාවික විධානය සහ කිළිනොච්චිය විශේෂ කාර්ය බලකාය එක්ව මුලතිවු උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී මෝටාර් බෝම්බ කිහිපයක් සොයා ගැනීමට සමත් වූ අතර, එහිදී මිලි මීටර 60 සහ 81 යන ප්‍රමාණයන්ගෙන් යුත් බෝම්බ 02ක්, මිලි මීටර 120 ප්‍රමාණයේ මෝටාර් බෝම්බ 02ක්, මිලි මීටර 60 ප්‍රමාණයේ ඉලුමිනේෂන් පැරා (Illumination Para) මෝටාර් බෝම්බ 12ක් සහ හඳුනාගත නොහැකි තවත් එක් මෝටාර් බෝම්බයක කොටස් සොයා ගැනීමට හැකිවිය. තවද බටහිර නාවික විධානය මගින් සිදු කල තවත් සෝදිසි මෙහෙයුමකදි මහවැලි ග‍ඟෙහි කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ වැලි කැණීම් සිදු කරනු ලබන ස්ථානයක තිබී සේෆ්ටි ෆියුස් රෝල් 08ක් සොයා ගැනීමට සමත්වූ අතර, එහිදී මීටර 10ක ප්‍රමාණයෙන් යුත් සේෆ්ටි ෆියුස් රෝල් 07ක් සහ මීටර 8.5 ප්‍රමාණයෙන් යුත් එක් සේෆ්ටි ෆියුස් රෝලක් සොයා ගැනීමට හැකිවිය.

මෙලෙස සොයා ගන්නා ලද මෝටාර් බෝම්බ නිශ්ක්‍රීය කිරීම කිළිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් සිදුකල අතර. සොයාගත් සේෆ්ටි ෆියුස් ප්‍රමාණයන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කටුගස්තොට පොලිස් ස්ථානය වෙතත් භාර දීමට කටයුතු කරන ලදී.