පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය හා එක්ව 2020 සැප්තැම්බර් 09 වන දින ත්‍රිකුණාමලය සල්ලිමුනායි ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙක් (02) සමඟ වෝටර්ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය සහ සේෆ්ටි ෆියුස් කිහිපයක් සොයා ගැනීමට සමත්විය.

නැගෙනහිර නාවික විධානය සහ කුච්චවේලි පොලීසිය එක්ව ත්‍රිකුණාමලය සල්ලිමුනායි ප්‍රදේශයේ සිදු කරන ලද මෙම විශේෂ මෙහෙයුමේදී වෝටර් ජෙල් කූරු 50 ක්, සේෆ්ටි ෆියුස් කොටස් 05 ක්, විදුලි නොවන ඩෙටනේටර් එකක් (01) සහ අඩි 2 ½ ක් පමණ දිග කඩුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 41ක් සහ 50ක් වන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, පුපුරණ ද්‍රව්‍ය සහ අදාල සැකකරුවන් පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතු කුච්චවේලි පොලීසිය විසින් සිදු කරනු ලබයි.