මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා කිලෝග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 සැප්තැම්බර් 09 සහ 10 යන දිනයන්හි උතුරු සහ උතුරු මැද නාවික විධානයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

මෙහිදී, උතුරු නාවික විධානය මගින් වෙත්තලකේණි, වත්තිරායන් ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සැක සහිත යාත්‍රාවක් නිරීක්‍ෂණය කර අදාල සැකකටයුතු යාත්‍රාව වත්තිරායන් වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි පාර්සල් 09ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 43 ග්‍රෑම් 270ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. තවද, එම මත්ද්‍රව්‍ය රැගෙන යාම සඳහා ඒ වන විට වෙරළ තීරයේ රැඳී සිටි තවත් පුද්ගලයෙකු ද යතුරු පැදියක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, උතුරු මැද නාවික විධානය මගින් ඉලුප්පුකඩවායි, කත්තාලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කල තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් ප්‍රදේශයේ වන ලැහැබක සඟවා තිබූ පාර්සල් 24ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 780ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

පවතින කොවිඩ් 19 අවධානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් සිදු කල මෙම සමස්ථ මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02), යතුරු පැදියක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට හැකිවිය. නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 32ක් සහ 42ක් වන පේසාලේ සහ වත්තිරායන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා, සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ යතුරු පැදිය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පලෙයි සහ ඉලුප්පුකඩවායි යන පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි.