දේශීය ගංජා හේනක් වැටලීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාව සහ සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 සැප්තැම්බර් 11 වන දින තණමල්විල බලහරුව ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකින් දේශීය ගංජා වගාකර තිබූ හේනක් වටලා සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි.

දකුණු නාවික විධානය සහ සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙලෙස තණමල්විල බලහරුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී ඉතා රහසිගත ලෙස වගා කර තිබූ මෙම දේශිය ගංජා හේන සොයා ගැනීමට සමත්වූ අතර, එම ගංජා හේනේ වගා කළ තිබූ අඩියක් (01) පමණ උස දේශීය ගංජා පැල 6000ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් ද (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස සොයා ගන්නා ලද දේශීය ගංජා පැල එම ස්ථානයේදීම ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන ලද අතර, අත්අඩංගුවට ගන්නා ලද එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවන්, ඉදිරි විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.