මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සංවර්ධනය කරමින් පවතින පෞද්ගලික ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් 2020 සැප්තැම්බර් 15 වන දින සොයා ගැනීමට සමත්විය.

නැගෙනහිර නාවික විධානය විසින් සිදුකල මෙම‍ විශේෂ සෝදිසි මෙහෙයුමේදී මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සංවර්ධනය කරමින් පවතින පෞද්ගලික ඉඩමක සුන්බුන් අතර තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවූ අතර, එම පුපුරණ ද්‍රව්‍ය එල්ටීටීඊ සංවිධානය විසින් පසුගිය මානුෂීය මෙහෙයුම පැවති සමයේ මෙම ප්‍රදේශයේ සඟවා තබන ලද පුපුරණ ද්‍රව්‍ය බවට සැක පල කෙරේ.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් ප්ලාස්ටික් ආවරණ තුනක බහාලන ලද ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක්, සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 05කට ආසන්න ප්‍රමාණයක්, මිලි මීටර 81 ප්‍රමාණයේ මෝටාර් බෝම්බ 07ක්, වර්ගය හඳුනාගැනීමට නොහැකි ෆියුස් 15ක ප්‍රමාණයක්, එක්ස්පෙලින් චාජර් 118ක ප්‍රමාණයක්, ක්ලේමෝ බෝම්බයක්, වර්ගය හඳුනාගත නොහැකි කිලෝ 08ක් බරැති බෝම්බයක කොටසක් සහ විදුලි ඩෙටනේටරයක් සොයා ගැනීමට සමත්විය.

මෙම පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදාව විසින් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මුලතිව් පොලිසිය වෙත භාරදීමට කටයුතු කල අතර, එම භූමි ප්‍රදේශයේ තවදුරටත් පුපුරණ ද්‍රව්‍ය තිබේදැයි සොයා සෝදිසි කිරීම් සිදු කරමින් පවතී.