උතුරු මැද හා උතුරේ නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් උතුරු මැද සහ උතුරු නාවික විධානයන්ට අයත් මුහුදු තීරයන්හි සිදු කළ හදිසි මෙහෙයුම් හා සෝදිසි කිරීම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු ධීවරයින් පිරිසක් සහ ධීවර ආම්පන්න තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට වීරෝධාර නාවිකයින් විසින් ක්‍රියා කරන ලදි.

උතුරු මැද නාවික විධානය මගින් තලෙයිමන්නාරම ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේත්, කුඩුඉරිප්පු මුහුදු ප්‍රදේශයේත්,පල්ලේමුණේ ප්‍රදේශයේත් සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ නියැලුනු ධීවරයින් 25 දෙනෙක්, ධීවර යාත්‍රා 06ක්, තහනම් දැල් සහ ඔවුන් විසින් අල්ලන ලද මසුන් කිලෝ 1750 කට අධික ප්‍රමාණයක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, වංකාලේ මුහුදු තීරයේ නාවික හමුදාව සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධීව කිමිදුම් කටයුතු සිදු කරමින් සිටි ධීවරයින් 05 දෙනෙක්, ධීවර යාත්‍රා 02ක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් එම අවස්ථාවේදී නාවික හමුදා භාරයට ගැනීමට නාවික විරුවෝ ඉතා උසස් ලෙස ක්‍රියා කළහ.

තවද, උතුරු නාවික විධානය අයත් කරෙයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මැරීමට තහනම් ජීවී කැස්බෑවන් දෙදෙනෙකු ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් දෙදෙනෙකුද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් ධීවරයින් තලෙයිමන්නාරම, මන්නාරම සහ කරෙයිනගර් ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 21ත් 60ත් අතර වයසේ පසුවන්නන් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන් සහ නාවික හමුදා භාරයට ගන්නා ලද අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක සහ මන්නාරම ධීවර පරීක්‍ෂක වෙත හා කයිට්ස් පොලීසිය වෙත භාරදීමට නාවික හමුදාව විසින් යුහුසුළුව ක්‍රියා කරන ලදි.