නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 818 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 818 ක පමණ ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු (02) අද (2020 සැප්තැම්බර් 16) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි මලු 12 ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 510 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ මෙහෙයුමකදී වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ ගෝනි මලු 05 ක අසුරන ලද කහ කිලෝග්‍රෑම් 308 ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 26 ත් 37 ත් අතර වයසේ පසුවන මන්නාරම පල්ලෙමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන් නිරෝධායන කටයුතු සඳහා තලෙයිමන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි. නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව කොවිඩ් 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් විෂබීජහරණයට ලක් කරන ලද අතර, එම විෂයන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.