තවත් වියලි කහ කිලෝ 520 කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන ඒමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 සැප්තැම්බර් 16 වන දින මන්නාරම මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ තවත් එක් විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කිලෝග්‍රෑම් 520 කට අධික වියලි කහ තොගයක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම මුන්දලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එමින් තිබූ මලු 12 ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 520 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ වල්ලම් යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 22 ත් 55 ත් අතර වයසේ පසුවන පල්ලෙමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අණාවරණය වූ අතර, අදාල සැකකරුවන් අඩම්පන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත භාර දෙන ලදි. නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ යාත්‍රාව කොවිඩ් 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.