ගාල්ල ප්‍රදේශයේ, වක්වැල්ල සහ දොඩම්ගොඩ පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟෙහි දොඩංගොඩ සහ වක්වැල්ල ආශ්‍රිතව ඇති පැරණි පටු පාලම් තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් ගාල්ල ප්‍රදේශයේ දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලදි.

දකුණු සහ සබරගමුව පළාත් ආශ්‍රිතව ආරම්භවී ගලා බසින ගිං ග‍ඟෙහි ප්‍රධාන ගංඟාව සහ අතු ගංඟා ආශ්‍රිතව ජල පෝෂක ප්‍රදේශයන්ට ඇදහැලෙන අධික වර්ෂාපතනයත්, ගංඟා ආශ්‍රිත ප්‍රදේශයට නොසැලකිලිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම, ගස් කැපීම සහ උණ පඳුරු කපා දැමීමත් හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ සැඩ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන මෙම අපද්‍රව්‍ය වක්වැල්ල සහ දොඩම්ගොඩ පටු පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිරවේ. මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින නාවික හමුදාව දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් කණ්ඩායමක් යොදවා සිරවූ එම අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.

මෙම වසරේදී පමණක් නාවික හමුදාව විසින් වක්වැල්ල සහ දොඩම්ගොඩ පාලම් ආශ්‍රිත අවහිරතා ඉවත් කිරීමට අවස්ථා 09කදී කටයුතු කර ඇති අතර. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම තුරන් කිරීමට නාවික හමුදාවට හැකිවිය. එමෙන්ම ඉදිරියේදීද ඇතිවිය හැකි ආපදා තත්වයන් පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.