නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් නැගෙනහිර, උතුරු මැද, උතුරු සහ වයඹ නාවික විධානයන්ට අයත් මුහුදු තීරයන්හි පසුගිය සතිය තුල සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියුතුව සිටි පුද්ගලයින් සහ ධීවර ආම්පන්න රැසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය රවුන්ඩ් දූපත සහ පොල් තුඩුව යන ප්‍රදේශයන්ට ඔබ්බෙන්වූ මුහුදේ සහ කාත්තන්කුඩි කළපුවේත්, සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී දැල් භාවිතා කරමින් හා වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 09 දෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එසේම, උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් හා වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ යෙදුනු තවත් ධීවරයින් 10 දෙනෙක්, හා ධීවර යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී අනුමත සීමාව ඉක්මවා වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 724කට අධික ප්‍රමාණයක් ලඟ තබාගෙන සිටි සැකකරුවකු නාවික හමුදා භාරයට ගැණිනි.

තවද, උතුරු නාවික විධානය විසින් තලයඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03), ඩිංගි යාත්‍රාවක් (01), ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 13ක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් සමඟ නාවික හමුදා භාරයට ගත් අතර, වයඹ නාවික විධානය විසින් කල්පිටිය සොත්තුපිටිය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා 02ක් යොදා ගනිමින් ධීවර දැල් නීති විරෝධී ලෙස අදිනු ලැබූ (Trawling) පුද්ගලයින් තිදෙනෙක් (03), ධීවර යාත්‍රා දෙකක් (02) සහ ඔවුන් විසින් අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 59 කට අධික තොගයක්ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් කින්නියා, තලෙයිමන්නාරම, මන්නාරම සහ තලවිල යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 21ත් 52ත් අතර වයසේ පසුවන්නන් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන් සහ නාවික හමුදා භාරයට ගන්නා ලද අනෙකුත් ධීවර ආම්පන්න සහ භාණ්ඩ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙතත් පේදුරුතුඩුව සහ කල්පිටිය ධීවර පරීක්‍ෂක වෙතත් භාරදීමට කටයුතු කෙරණි.