නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව පසුගිය දින කිහිපය තුල දකුණ, උතුරුමැද, බටහිර සහ වයඹ යන නාවික විධානයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින්, කේරළ ගංජා සහ දේශිය ගංජා සමඟ සැකකරුවන් 08 දෙනෙක් සහ සැකකාරියක් (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත් විය.

දකුණු නාවික විධානය මගින් හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය සමග එක්ව හම්බන්තොට ගබඩා හන්දිය ප්‍රදේශයේ සිදු කල ‍සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 538ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, උතුරුමැද නාවික විධානය මගින් මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය හා එක්ව තලෙයිමන්නාරම රිෂාඩ් නගර ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 280 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නා ලදි.

එසේම, බටහිර නාවික විධානය මගින් ජාඇළ ප්‍රදේශයේ දඬුගම පාලම අසල මාර්ග බාධකයකදී මාර්ගයේ ගමන්ගත් සැක සහිත පුද්ගලයෙකු පරීක්‍ෂාකර ඔහු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 03ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, නොරොච්චෝලය මාම්පූරි ප්‍රදේශයේ සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ දේශීය ගංජා ග්‍රෑම් 8 මිලිගෑම් 91 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකාරියක් නාවික හමුදා භාරයට ගැනීමට වයඹ නාවික විධානය මගින් කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ සැකකාරිය වයස අවුරුදු 17ත් 55ත් අතර වයසේ පසුවන හම්බන්තොට, තලෙයිමන්නාරම, ජා ඇල සහ මාම්පූරි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන් සහ සැකකාරිය සමඟ මත්ද්‍රව්‍ය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා හම්බන්තොට, තලෙයිමන්නාරම, ජා ඇල සහ නොරොච්චෝලය පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කරන ලදි.