වියලි කහ ටොන් දෙකකට අධික තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව 2020 ඔක්තෝබර් 06 සහ 07 දින උඩප්පුව පූනපිටිය ප්‍රදේශයේ සහ කල්පිටිය සින්නපාඩු ප්‍රදේශයේ සිදුකල විශේෂ ‍මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1700 කට අධික තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) ද, පොලීසිය හා එක්ව මන්නාරම වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී වියලි කහ කිලෝග්‍රෑම් 344 කට අධික ප්‍රමාණයක්, සැකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථයක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානය උඩප්පුව පූනපිටිය වෙරළ තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ලොරි රථයකට අසුරමින් තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1297 කට අධික තොගයක් සහිත උර 27 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරණි. එහිදී එම කහ තොගය රැගෙන ආ ඩිංගි යාත්‍රාව සහ ලොරි රථය ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, කල්පිටිය සින්නපාඩු ප්‍රදෙශයේ සිදු කළ තවත් මෙහෙයුමකදී වන ලැහැබක් තුළ සඟවා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 403 ක පමණ තොගයක් සහිත උර 19 ක් සොයා ගැනීමට ද සමත් විය. එසේම උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මන්නාරම වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ මෙහෙයුමකදී සැක සහිත ලොරි රථයක් පරීක්‍ෂාකර එහි වියළි මිරිස්, ලොකු ළූණු සහ ගොරක අතර සූක්‍ෂම ලෙස සඟවා තිබූ උර 09ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 344 කට අධිත තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 34 ත් 48 ක් අතර වයසේ පසුවන කොන්තන්තීව්, පල්ලිවාසලපාඩු, මන්නාරම, උකුවෙල සහ අලවතුගොඩ යන ප්‍රදේශයවල පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන් සහ අත්අඩංගුවට ගන්නා ලද වියලි කහ තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය, සින්නපාඩු රේගු නිවාරණ කාර්යාලය සහ මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.