නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව හා පොලීසිය එක්ව 2020 සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 06 දක්වා කාලය තුළ වයඹ, දකුණ සහ නැගෙනහිර යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී වයඹ නාවික විධානය මගින් පුත්තලම පොලීසිය හා එක්ව කරඹේ සහ පාලවිය ප්‍රදේශයන්හි සිදු කල ‍සෝදිසි මෙහෙයුම් මගින් අයිස් (Crystal Methamphetamine) මිලිග්‍රෑම් 80 ක් සමඟ සැකකරුවෙකුද (01) හෙරෝයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 300ක පමණ ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් අතර, දකුණු නාවික විධානය මගින් හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය හා එක්ව හම්බන්තොට සුචිගම්මානයේ සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 559 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය. එසේම, නැගෙනහිර නාවික විධානය මූතූර් පොලීසිය සමඟ එක්ව මූතූර් බස් නැවතුම්පල අසළ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 01 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, කලවන්චිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව වාලච්චේන ප්‍රදේශයේ සිදු කළ තවත් මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 10 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 21ත් 43ත් අතර වයසේ පසුවන කර‍ඹේ, පාලවිය, හම්බන්තොට, මූතූර් සහ වාලච්චේන යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පුත්තලම, හම්බන්තොට, මූතූර් සහ වාලච්චේන යන පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කරන ලදි.