නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය සැප්තැම්බර් 10 දින සිට 13 දින දක්වා උතුර, උතුරු මැද සහ දකුණ යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී උතුරු නාවික විධානය මගින් යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේ සිදුකල ‍සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 15 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගත් අතර, උතුරු මැද නාවික විධානය හා මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ හෙරෝයින් මිලිග්‍රෑම් 790 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, දකුණු නාවික විධානය අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව තණමල්විල ඌව කුඩාඔය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී දේශීය ගංජා ග්‍රෑම් 820 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සැකකරුගෙන් ලද තොරතුරු මත මීගස්වැව ප්‍රදේශයේදී දේශීය ගංජා ග්‍රෑම් 850 ක ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 36 ත් 53 ත් අතර වයසේ පසුවන ඉරුක්කුලම්පිඩ්ඩි, ඌව කුඩාඔය සහ මීගස්වැව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පලෙයි, මන්නාරම සහ තණමල්විල යන පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කරන ලදි.