කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ඔක්තෝබර් 17 දින සිට 22 දින දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානය හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය එක්ව පසුගිය ඔක්තෝබර් 18 වන දින මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද කිලෝ 200කට අධික කේරළ ගංජා තොග‍ය රැගෙන ආ බවට විශ්වාස කෙරෙන සැකකරුවන් තිදෙනෙක් (03) උතුරු මැද නාවික විධානය හා මන්නාරම පොලිසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී තලෙයිමන්නාරම කර්සල් සහ ඌරුමලේ ප්‍රදේශයේදී 2020 ඔක්තෝබර් 21 වන දින අත්අඩංගුවට ගන්නා ලද අතර, මෙහිදී එම සැකකරුවන් සතුව තිබී තවත් කේරළ ගංජා කිලෝ 13 ග්‍රෑම් 500 ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදි.

උතුරු නාවික විධානය විසින් පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර‍දේශයේදී ඔක්තෝබර් 22 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 82 ක පමණ (තෙත බර සහිතව) තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) ඩිංගි යාත්‍රාවක් සමගින් නාවික හමුදා භාරයට ගත් අතර, කරෙයිනගර් සිට මරදාපුරම් වෙරළ මාර්ගයේ ඔක්තෝබර් 21 වන දින සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී එම මාර්ගයට ආසන්නයේ පඳුරක් යට සඟවන ලද ගෝනියක තිබූ කේරළ ගංජා කිලෝ 41 ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

තවද, දකුණු නාවික විධානය විසින් හම්බන්තොට පොලීසිය හා එක්ව ඔක්තෝබර් 17 සහ 21 දින හම්බන්තොට සුචි ගම්මානයේ සහ ගබඩා හන්දිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම් දෙකකදී හෙරෝයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 428 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලද අතර, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලීසිය එක්ව ඔක්තෝබර් 19 සහ 22 දින මන්නාරම මූවර් වීදියේදී හෙරෝයින් මිලිග්‍රෑම් 340 ක් සමඟ සැකකරුවෙක් (01) සහ මන්නාරම එලුතූර් ප්‍රදේශයේදී හෙරෝයින් මිලිග්‍රෑම් 720 ක් සමඟ තවත් සැකකාරියක් (01) ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඔක්තෝබර් 22 දින තණමල්විල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී දේශීය ගංජා කිලෝග්‍රෑම් 03 ක් යතුරුපැදියක ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් (01) එම යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17ත් 58ත් අතර වයසේ පසුවන මන්නාරම, තාලෙඅඩි, අල්වායි, හම්බන්තොට, ඌරුමලේ සහ තණමල්විල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තහවුරු කර ගත් අතර, අදාල සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, පේදුරුතුඩුව, කයිට්ස්, හම්බන්තොට සහ ලුනුගම්වෙහෙ‍ර යන පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කෙරිණි.