වියලි කහ ටොන් හතරකට (04) අධික තොගයක් සමඟ සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගැනේ

නාවික හමුදාව 2020 ඔක්තෝබර් 30 සහ 31 දින වයඹ සහ උතුරු මැද නාවික විධානයන් තුල සිදුකල විශේෂ ‍මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 4150 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 16ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී වයඹ නාවික විධානය මගින් ඔක්තෝබර් මස 30 වන දින රාත්‍රියේ පුත්තලම එත්තාලෙයි එරඹුගොඩැල්ල වෙරළ තීරයේ සිදු කල මුර සංචාරයක් අතරතුර පුද්ගලයින් කිහිපදෙනෙකුගේ සැක සහිත හැසිරීමක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔවුන් විසින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. එහිදී මළු 65ක අසුරා තිබූ වියලි කහ කිලෝ 2042ක පමණ ප්‍රමාණයක්, සැකකරුවන් 05 දෙනෙක්, ලොරි රථයක් සහ යතුරු පැදියක්ද නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. තවද, ඔක්තෝබර් මස 31 වන දින අළුයම් කාලයේ පෙරියපාඩු වෙරළ තීරයේ සිදු කල තවත් ව්ශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රා 02ක් මගින් මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ලොරි රථයකට පටවමින් තිබූ තවත් වියලි කහ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, මෙහිදී සැකකරුවන් විසින් වෙරළ තීරයට යාබදව තිබූ නිවසක් තුල සඟවන ලද තවත් වියලි කහ සහිත මළු 03ක්ද සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම මෙහෙයුමේදී මළු 45ක අසුරා තිබූ වියලි කහ කිලෝ 1600ක පමණ ප්‍රමාණයක්, සැකකරුවන් 08 දෙනෙක්, ඩිංගි යාත්‍රා 02ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානය මගින් ඔක්තෝබර් මස 30 වන දින රාත්‍රී කාලයේ මන්නාරම වංකාලේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ යාත්‍රා කල සැක සහිත ඩිංගි යාත්‍රාවක් නීරීක්‍ෂණය කරන ලද අතර, පසුව අදාල ඩිංගි යාත්‍රාව ඔක්තෝබර් මස 31 දින ගොඩබිමට සේන්දු වන අවස්ථාවේදී පරීක්‍ෂාවට ලක් කර එහි සිටි පුද්ගලයින්ගෙන් ලබාගත් තොරතුරු මත පසුව ගොඩබිමට ගෙන ඒමේ අරමුණින් මුහුදට දමා තිබූ ගෝනි මළු 08ක අසුරන ලද (තෙත බර සහිත) කහ කිලෝ 508කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

රට තුල කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම වේදයන් අනුගමනය කරමින් සිදුකල මෙම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 20 ත් 64 ක් අතර වයසේ පසුවන පුත්තලම, එත්තාලෙයි, කොන්තන්තීව්, මදුරන්කුලිය, පාලවි, මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන්, අත්අඩංගුවට ගන්නා ලද වියලි කහ තොගයන් සහ අනෙකුත් භාණ්ඩ පූර්ණ විෂබීජ හරණයකට ලක් කිරීමෙන් පසු ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය සහ මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.