පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමේ මෙහෙයුමක් 2020 නොවැම්බර් 02වන දින සිදු කෙරිණි.

ඒ අනුව, මෙලෙස පානදුර වෙරළ තීරය වෙත ගොඩගසා තිබූ තල්මසුන් 100කට ආසන්න ප්‍රමාණයක් නිරුපද්‍රිතව නැවතත් ගැඹුරු මුහුද වෙත රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදා ජීවිතාරක්‍ෂක නිලධාරීන්, පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායම්, ස්වේච්ඡා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. මේ සඳහා නාවික හමුදා සාමාජිකයින් 30ගෙන් යුත් කණ්ඩායමක් සහ වෙරළ ආරක්‍ෂක යාත්‍රාවක්, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් 30ක ගෙන් යුත් කණ්ඩායමක් සහ ජීවිතාරක්‍ෂක යාත්‍රාවක්, නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ කළුතර ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීම් හා සහන සැළසීම් ඒකකයට අනුයුක්ත නාවිකයින් 06ක් සහ ජීවිතාරක්‍ෂක යාත්‍රා දෙකක් මෙම මෙහෙයුමට දායක විය.

එමෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ඉල්ලීම මත ප්‍රදේශයේ ජල ක්‍රීඩා සමාජයක අනුග්‍රහයෙන් සපයන ලද Jetski යාත්‍රාවන්ද උපයෝගී කර ගනිමින් මහත් පරිශ්‍රමයක් දරමින් දිවා කාලයේ සිට රාත්‍රී කාලය දක්වා වරින්වර තල්මසුන් නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත ගෙනගොස් දැමීමට කටයුතු කෙරුණු අතර, මිය ගිය තල්මසුන් 04ක් සම්බන්දයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු මේ වන විට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

මෙම තල්මසුන් ‘මුක්කරු කොමදුවා’ (Short–Finned Pilot Whale) වර්ගයට අයත් තල්මසුන් බවට හදුනාගෙන ඇති අතර, තල්මසුන් රංචුවක් මංමුලා වූ එක් තල්මසෙකු පසුපස ගමන් කිරීම හේතුවෙන් මෙලෙස වෙරළට ගොඩගැසීම සිදුවී ඇති බවට විශ්වාස කෙරේ.

තවද රටතුල පවතින කොවිඩ් 19 අවධානම් තත්වය හේතුවෙන් ජනතාව තල්මසුන් දැක බලා ගැනීම සඳහා මෙම වෙරළ ප්‍රදේශයට එක්රැස්වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මගින් මෙහිදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරිණි.