රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඒමට උත්සාහ කල රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 213 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2020 නොවැම්බර් 05 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානය විසින් නොවැම්බර් 05 වන දින වෙත්තලකේණි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නීරීක්‍ෂණය කර සිදු කල පරීක්ෂාවේදී එහි පොලිතීන් මළු 08ක් තුල පාර්සල් 98ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 213ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරල ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් 63,900,000.00 පමණ (මිලියන 63.9) වන බවට විශ්වාස කෙරේ.

තවද, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 36 සහ 41 යන වයසේ පසුවන වෙත්තලකේණි උඩුත්තුරෛයි සහ අලියාවලෛයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාල සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි.