රුපියල් මිලියන 31කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව දිවයින වටා සිදුකල විශේෂ මෙහෙයුම් මගින් කිලෝග්‍රෑම් 106කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානය විසින් අද (නොවැම්බර් 10) මාදගල්තුරෙයි වෙරළ තීරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික මෙහෙයුම් හමුවේ අතහැර දමාගොස් තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාකිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ජාවාරම් කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහකල මෙම කේරළ ගංජා තොගය ගෝනි මළු 04ක පාර්සල් 10ක් වශයෙන් අසුරා තිබූ අතර, මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා නාවික හමුදාව ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.

මේ අතර, උතුරු මැද නාවික විධානය විසින් නොවැම්බර් මස 01 සහ 08 යන දිනයන්හි මන්නාරම පුතුකුඩිඉරිප්පු සහ ඉරුකුලම්පිඩ්ඩි ප්‍රදේශයන්හි සිදු කල තවත් සෝදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා කිලෝ 05 ග්‍රෑම් 907ක පමණ ප්‍රමාණයක් අලෙවි කිරීම සඳහා ළඟතබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකුද (03), මන්නාරම පොලීසිය හා එක්ව තොඩ්ඩවේලි සහ මන්නාරම යන ප්‍රදේශවල සිදු කල මෙහෙයුම් මගින් හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 650 ක් සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකුද (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කරන ලදි.

තවද, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මොණරාගල සුරාබදු කාර්යාලයේ නිලධාරීන් එක්ව තණමල්විල කුඩාඔය ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී දේශීය ගංජා කිලෝ 03 ග්‍රෑම් 600ක පමණ ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමටද සමත් වූ අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකල මෙම මෙහෙයුම් මගින් නීතියේ රැහැනට හසුකර ගන්නා ලද මුළු කේරළ ගංජා තොගයේ පමණක් වටිනාකම රුපියල් මිලියන 31කට අධික වෙතැයි අපේක්‍ෂා කෙරේ.

මෙලෙස නීතියේ රැහැනට හසුකරගත් ‍සැකකරුවන් වයස අවුරුදු 19 සහ 56 වයසේ පසුවන මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි, තාරපුරම් සහ කුඩාඔය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලි සහ මන්නාරම යන පොලීස් ස්ථාන සහ මොණරාගල සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.