මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනේ

නාවික හමුදාව සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) 2020 නොවැම්බර් මස 29 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානය විසින් සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී එම යාත්‍රාව තුළ තිබී නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ ට්‍රැම‍ඩෝල්‍‍ හයිඩ්‍රොක්ලෝරයිඩ් ඖෂධ පෙති(Tramadol Hydrochloride Tablets) 11750 ක්, දුම්වැටි එතීම සඳහා භාවිතා කරණු ලබන කොල අඩංගු පෙට්ටි 944 ක් (Cigarette Rolling Paper), ජංගම දුරකථන දෙකක් (02), ශ්‍රවණ උපාංගයක් (Wireless Head Set ) සමඟ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද සැකරුවන් දෙදෙනා වයස 21ක් වන සිලාවතුර පුදේශයේ පදිංචි කරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සහ කළ භාණ්ඩ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පරයානකුලම් පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත භාරදීමට කටයුතු කෙරිණි.