නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1385ක් සහ හෙරෝයින් ග්‍රෑම් 23 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 18ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල උතුරුමැද, උතුර සහ නැගෙනහිර නාවික විධානයන් තුල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1385 ග්‍රෑම් 500 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් අට දෙනෙකු (08) සහ හෙරෝයින් ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 02ක් සමග තවත් සැකකරුවන් දසදෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරුමැද නාවික විධානය මගින් 2020 නොවැම්බර් 29 දින මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත යාත්‍රාවන් දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කිරීමේදී, ගෝනි උර 14ක් තුළ තිබු තෙත බර සහිත වියළි කහ කිලෝ 753 ග්‍රෑම් 500ක තොගයක් සොයාගන්නා ලදී. පසුව එම යාත්‍රාවන්ගේ සිටි සැක කරුවන් පස්දෙනෙකු (05) සමඟ එම යාත්‍රාවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම, නොවැම්බර් 30 දින මන්නාරම උසිමුක්කන්තුරෛ වෙරළ ප්‍රදේශයේ සිදුකල තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ තීරය වෙත පැමිණි සැක සහිත වල්ලම් යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර, එම යාත්‍රාව තුළ උර 17 ක අසුරා තිබූ තෙත බර සහිත කිලෝග්‍රෑම් 632ක් පමණ බරකින් යුත් වියළි කහ තොගයක්, සැක කරුවන් තිදෙනෙකු (03) සහ එම යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නොවැම්බර් 30 දින උතුරුමැද නාවික විධානය මගින් මන්නාරම පොලිසිය හා එක්ව මන්නාරම නගරයේ සිදුකළ තවත් මෙහෙයුමකදී විකිණීමට උත්සහ කළ හෙරෝයින් ග්‍රෑම් 08 මිලි ග්‍රෑම් 920ක් සමඟ එක් (01) සැකකරුවකු ද, නොවැම්බර් 26 දින හෙරෝයින් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 580ක ප්‍රමාණයක් සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු ද (02) අත්අඩංගුවට ගන්නා ලදී.

එමෙන්ම, නැගෙනහිර නාවික විධානය විසින් සර්දාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 නොවැම්බර් 25 දින මුතූර් ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 170ක් සමග එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු (05) සහ යතුරු පැදියක් ද, උතුරු නාවික විධානය විසින් යාපනය පොලිසිය හා එක්ව 2020 නොවැම්බර් 22 දින යාපනය නගරයේ දී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 350ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් ද (02) අත්අඩංගුවට ගන්නා ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් හා අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 47ත් අතර වයසේ පසුවන පේසාලේ, කල්පිටිය, එරුක්කලම්පිඩ්ඩි, පල්ලෙමුනෛ, මුතූර්, නල්ලූර් සහ කොකුවිල් යන ප්‍රදේශයන් හි පදිංචි කරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, වියලි කහ තොගය, හෙරෝයින් ප්‍රමාණය, අත්අඩංගුවට ගත් යාත්‍රා සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය, මන්නාරම පොලිසිය, මුතූර් පොලිසිය සහ යාපනය පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.