මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 3538කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව පසුගිය සති කිහිපය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 3538 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් (03) ඇතුළු පුද්ගලයින් හත් දෙනෙක් (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානය මගින් පුත්තලම කුදිරමලේ තුඩුවට බටහිර මුහුදු ප්‍රදේශයේ අන්තර්ජාතික මුහුදු සීමාවට (IMBL) ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී 2020 දෙසැම්බර් 12 වන දින වෙරළබඩ මුර යාත්‍රා යොදා ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මුහුදු ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදි. පසුව සිදුකළ වැඩිදුර පරික්ෂාවේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 64ක අසුරන ලද වියළි කහ කිලෝ 2404 යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් සොයාගන්නා ලද අතර, එම කහ තොගය සමග ඩව් (Dhow) යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩව් යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයටගත් මෙම ඩව් යාත්‍රාවෙන් ගෙන එන ලද කහ තොගය මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවකට හුවමාරු කිරීමට මෙම ජාවාරම් කරුවන් සැලසුම්කර තිබෙන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.

තවද, දෙසැම්බර් 11 වන දින වයඹ නාවික විධානය මගින් කල්පිටිය ඕලන්ද බොක්ක ( Dutch Bay) මුහුදු ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ සොදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කරන ලද අතර, එහි තිබී උර 10 ක අසුරන ලද වියලි කහ කිලෝ 480ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදි.

එමෙන්ම, උතුරු මැද නාවික විධානය මගින් 2020 නොවැම්බර් 20 වන දින මන්නාරම වන්කාලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටුයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර, එහි තිබූ පාර්සල් 18 ක අසුරන ලද වියලි කහ කිලෝ 654 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් කුදිරමලේ තුඩුවට බටහිර, ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් කහ තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබා ඇති අතර, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ඩව් යාත්‍රාව සහ ඉන්දීය ජාතිකයින් තිදෙනා පවත්නා වසන්ගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට පිටුවහල් කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම, කල්පිටිය සහ මන්නාරම ප්‍රදේශයන්හිදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 31 සහ 37 අතර වයසේ පසුවන කල්පිටිය සහ තාල්පාඩු යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, නාවික හමුදා භාරයට ගත් කහ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කටුනායක සහ යාපනය රේගු කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරිණි.