මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 36 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05), ඉන්දීය ජාතිකයින් 36 ක් සහ ධීවර ආම්පන්න අද (2020 දෙසැම්බර් 15) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම්, කොවිඩ් -19 වසංගතයේ බලපෑම හේතුවෙන් මෙම වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සීමා වී තිබුනත්, දිගින් දිගටම විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්, දේශිය ධිවර ප්‍රජාවට සිදු වන බලපෑම සැලකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදෙස් ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව නැවත ආරම්භ කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානය මගින් ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදු සීමාවේ සිදුකල විශේෂ මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධිවර යාත්‍රා තුනක් (03) නිරීක්‍ෂණය කර, ඉන්දීය ජාතිකයින් 22 ක් සමඟ එම ධීවර යාත්‍රා නාවික හමුදා භාරයට ගන්නා ලදි.

එමෙන්ම, උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේත්, වයඹ නාවික විධානය මගින් කුදිරමලේ තුඩුවට බටහිර මුහුදේත් සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදු කළ තවත් ඉන්දීය ධිවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ජාතිකයින් 14 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා 05 සහ ඉන්දීය ජාතිකයින් 36 දෙනා පිළිබඳ ඉදිරි පරික්‍ෂණ කටයුතු මේ වන විටත් සිදු කෙරමින් පවතින අතර, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කිරීමටද කටයුතු සිදු කරමින් පවතී.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සහ නීති විරෝධී ක්‍රියා මැඩපවත්වා සාගරික සම්පත් ආරක්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් සිදු කරනු ලබයි.