මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ගාල්ල, දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 දෙසැම්බර් 31 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945 (Crystal Methamphetamine), හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 47 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා රජය ගෙන යන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන මත් ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, දකුණු නාවික විධානය මගින් ගාල්ල දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දෙසැම්බර් 31 වන දින අළුයම සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර එහි සූක්‍ෂමව සඟවා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945, හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 47 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 29 ත් අතර, මාතර, පොතුවිල්, මීගමුව සහ මස්කෙලිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, මත්ද්‍රව්‍ය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙරට මුහුදු කළාපය ඔස්සේ සිදු වන සියළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් සිදු කරනු ලබයි.