මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ජනවාරි 05 වන දින වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1680 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) හා ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානය මගින් පුත්තලම කුදිරමලේ තුඩුවට උතුරු මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ වෙරළබඩ මුර යාත්‍රා යොදා ගනිමින් සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නිරීක්‍ෂණය කරන ලදී. පසුව සිදුකළ පරික්‍ෂාවේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 57ක අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 1680 ක පමණ ප්‍රමාණයක් සහ උර 05 ක අසුරන ලද එනසාල් කිලෝග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සොයාගන්නා ලද අතර, එම භාණ්ඩ සමග ඩව් (Dhow) යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතික සැකකරුවන් සිව් දෙනෙකු (04) සමඟින් එම ඩව් යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයටගත් මෙම ඩව් (Dhow) යාත්‍රාවෙන් ගෙන එන ලද වියලි කහ සහ එනසාල් තොගය මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවකට හුවමාරු කිරීමට මෙම ජාවාරම්කරුවන් සැලසුම්කර තිබෙන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් කුදිරමලේ තුඩුවට උතුරු, මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතික සැකකරුවන්, වියලි කහ සහ එනසාල් තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යලාය වෙත භාර දීමට කටයුතු කළ අතර, ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබා ඇත.

තවද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන මෙවැනි ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.