නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදුනු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතිකයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 ජනවාරි 09 වන දින සවස් කාලයේ උතුරු මුහුදේ සිදු කළ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ජාතිකයින් 09ක් සමඟ‍‍ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානය මගින් ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ දේශීය මුහුදු සීමාවේ සිදුකළ මෙම ‍මෙහෙයුමේදී අන්තර්ජාතික මුහුදු සීමාව (IMBL) උල්ලංඝණය කරමින් අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01), එහි සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු සහ ඔවුන් විසින් අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ යාත්‍රාවේ තිබූ ධීවර ආම්පන්න ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ විදෙස් ධීවරයින් විසින් සිදු කරනු ලබන අනවසර ධීවර කටයුතු මැඩපවත්වීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබන නාවික හමුදාව, පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 18ත් 52ත් අතර වයසේ පසුවන ඉන්දීය ජාතිකයින්, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඇතුළු අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් සහකාර අධ්‍යක්‍ෂක වෙත භාරදීමට නියමිතව ඇත.