“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 20 දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

මෙම අනතුර හේතුවෙන් අතුරුදන්වූ තවත් ධීවරයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් සොයා ගැනීමට සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් අද (2021 ජනවාරි 21) පෙරවරුවේ සමත් විය.

මේ අනුව, අනතුර හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වු ධීවරයින් 04 දෙනෙකුගේ මෘත දේහයන් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් සමත් වූ අතර, පෙර දින (2021 ජනවාරි 20) සහ අද (2021 ජනවාරි 21) සොයා ගන්නා ලද මෘත දේහයන් නාවික හමුදා යාත්‍රාවන් මගින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

එමෙන්ම මෙම මෘත දේහයන් සම්බන්ධව හදිසි මරණ පරීක්‍ෂණ කන්කසන්තුරය පොලිසියේ දැනුම් දීම මත මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත් තුමන් විසින් සිදු කල අතර, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී හා යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජෙනරල් කාර්යාලයේ නියෝජිතයින්ද එම අවස්ථාවන්ට සහභාගී වන ලදි. තවද, ගරු මහේස්ත්‍රාත් තුමන්ගේ නියෝගය මත ඉදිරි නීතිමය පියවර සඳහා මෘත දේහයන් යාපනය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට මේ වන විට කටයුතු කර ඇති අතර, එම මෘත දේහයන්ගේ අනන්‍යතාවය මේවන තෙක් තහවුරු කර ගෙන නොමැත.

මෙම සියළු කටයුතු පවතින කොවිඩ් 19 අවධානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සිදු කිරීමට කටයුතු කල අතර, නාවික හමුදාව විසින් සිදු කරන ලද සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මෘත දේහයන් සොයා ගැනිමෙන් අනතුරුව මේ වන විට අවසන් කොට ඇත.