“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා යොමුකළ ඉන්දීය ජාතිකයෙකු කොවිඩ් 19 ආසාධිතයෙකු බවට හඳුනා ගැනේ

2021 ජනවාරි මස 09 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ජාතිකයින් 09ක් සමඟ‍‍ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමෙන් අනතුරුව, එම ඉන්දීය ජාතිකයින් 09 දෙනා දින 14ක කාලසීමාවක් නිරෝධායනය සඳහා යොමු කෙරිණි.

එලෙස නිරෝධායනය සඳහා යොමු කර සිටි නාවික හමුදාභාරයට ගත් ඉන්දීය ජාතිකයින්ගේ දින 14ක නිරෝධායන කාලසීමාව 2021 ජනවාරි 22 වන දින සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔවුන් නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ බලධාරීන්‍ වෙත භාර දීමට ප්‍රථම සිදුකළ පීසීආර් පරීක්‍ෂණයේදී එක් ඉන්දීය ජාතිකයෙකු හට කොව්ඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු විය.

ඒ අනුව, කොවිඩ් 19 වෛරසය ආසාධිත ඉන්දීය ජාතිකයා යාපනය ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා වෛද්‍ය නිලධාරීගේ (Regional Epidemiologist Jaffna) උපදෙස් පරිදි ප්‍රථිකාර සඳහා කිළිනොච්චියේ ක්‍රිශ්ණපුරම්හි පිහිටි ජාතික බෝවන රෝග මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. තවද, නාවික හමුදාව විසින් නිරෝධායනය සඳහා යොමුකළ ඉතිරි ඉන්දීය ජාතිකයින් 08 දෙනා තවත් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.

තවද, සාගරික දේශ සීමාවන් හරහා කොවිඩ් 19 වෛරසය රට තුලට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව සිදුකරනු ලබන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත්ව සිදුකරමින් සිටින අතර, ජාවාරම් කරුවන් සහ ධීවර ප්‍රජාව විසින් විදේශීය ධීවරයින් සමඟ පවත්වනු ලබන සබඳතා අවම කිරීමේ අවශ්‍යතාවයද මේ මගින් අවධාරණය කෙරේ.