“ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක” යන ශිර්ෂය යටතේ 2021 ජනවාරි 24 පල කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2021 ජනවාරි 23 වන දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව 2021 ජනවාරි මස 24 වන දින එම මුහුදු ප්‍රදේශයේ පවත්නා වඩදිය තත්වය හමුවේ ඇති වූ දිය වැල් ‍වල බලපෑමෙන් නෞකාව සිරවී තිබූ ගල් පරයෙන් ඉවත් වීමෙන් අනතුරුව, කුඩා රාවණා පරයේ සිට නිරිත දෙසින් නාවික සැතපුම් 05ක් පමණ දුර මුහුදේ ආරක්‍ෂිතව නැංගුරම්ලෑමට කටයුතු කරන ලදී.

අද දින (2021 ජනවාරි 25) නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් නෞකාවේ දියයට බඳ කොටස පුළුල් ලෙස පරීක්‍ෂා කිරීමෙන් (Diving Operation) අනතුරුව, අනතුර හේතුවෙන් නෞකාව ගල් පරයේ සිරවී තිබූ ප්‍රදේශයේ බඳ කොටසට සුළු හානි සිදුවී ඇති බව නිරීක්‍ෂණය කරන ලදී. එමෙන්ම ‍අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෙළඳ නෞකා අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් යොමු කරන ලද නෞකා තක්සේරුකරුවන් විසින්ද නෞකාවේ බඳ කොටසට සිදුවී ඇති හානි සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර වාර්ථාවක් ලබාදීමට නියමිතව ඇත.

ඒ අනුව, නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර ක්‍රියාකාරීත්වයෙන් නෞකාව යාත්‍රා කර වීම සුදුසු නොවන බවත් ලඟම ඇති වරායක් වෙත නෞකාව ඇදගෙන ගොස් එහි බඳට සිදුවී ඇති හානි අළුත්වැඩියා කර ගැනීමට කටයුතු කරන ලෙසත් MV Eurosun නැමති නෞකාවේ දේශීය නියෝජිතායතනය වෙත කොළඹ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) මගින් උපදෙස් ලබා දී ඇත.