නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 26කට අධික වටිනාකමින් යුත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ආසන්න මුහුදු තීරයේ 2021 මාර්තු 09 වන දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1189කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මගින් මාර්තු 09 වන දින තලෙයිමන්නාරමට ආසන්න මුහුදු තීරයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවන් දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කර එම ඩිංගි යාත්‍රා තුල තිබූ උර 24 ක අසුරන ලද වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 1189 ග්‍රෑම් 83 ක පමණ ප්‍රමාණයක්, සැකකරුවන් සිව් දෙනෙක් (04) සහ එම ඩිංගි යාත්‍රාවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙහිදී නාවික හමුදා භාරයට ගත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයේ වෙළඳපල වටිනාකම රුපියල් මිලියන 26කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 38ත් 58ත් අතර වයසේ පසුවන කල්පිටිය, සිලාවතුර සහ නානට්ටාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් දින 14ක කාලයක් නිරෝධායනය කිරීම සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදි. නාවික හමුදා භාරයට ගන්නා ලද වියලි මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දුන් අතර, නිරෝධායනයෙන් පසුව සැකකරුවන්ද නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.