නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ කහ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ 2021 මාර්තු 15 වන දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝග්‍රෑම් 349 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 156 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මගින් සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි තිබී උර 14 ක අසුරන ලද කහ කිලෝග්‍රෑම් 349 ක (තෙත බර සහිත) පමණ ප්‍රමාණයක් සහ උර 06 ක අසුරන ලද එනසාල් කිලෝග්‍රෑම් 156 ක (තෙත බර සහිත) පමණ ප්‍රමාණයක් සමඟ මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රාවද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, ඔවුන් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා තලෙයිමන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමටත්, නාවික හමුදා භාරයට ගත් කහ සහ එනසාල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමටත් කටයුතු කරන ලදී.